ගාලු කොටුවේ ලන්දේසි නගර සැලසුම හා එහි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ – Galle Heritage

ගාලු කොටුවේ ලන්දේසි නගර සැලසුම හා එහි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ

බලකොටුවක් ලෙස ස්වකීය මූලික අවශ්‍යතා ස්ථාපනය කර ගනිමින් ගාල්ල කොටුවේ සංවර්ධන කටයුතුවල ආරම්භය සඳහා පෘතුගිසින් උත්සහ දැරූ නමුත් නාගරික ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාගනිමින් සැලසුම් සහගත නගරයක් ලෙස ගාල්ල කොටුව සංවර්ධනය කරනු ලැබූවේ ලන්දේසීන් විසිනි. ක්‍රි.ව.1640දී ගාල්ල ස්වකීය ආධිපත්‍යයට යටත් කරගත් ඔවුහු ලංකාවේ පැවති අනෙක් බලකොටු වල අයිතිය පෘතුගිසින්ගෙන් ලබා ගන්නා තෙක්ම ගාල්ල ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන කටයුතු කරගෙන යනු ලැබී ය. ක්‍රි.ව.1640 මාර්තු 13 වැනි දා ගාල්ල ලන්දේසීන් අතට පත් වීමත් සමඟ පෘතුගිසින් වැඩි ප්‍රමාණයක් බතාවියට පිටත් කර යැවූ බව කියැවේ. ලනුදේසිනු විසින් ස්කීය විවිධ වැඩ කටයුතු සඳහා අප්‍රිකාවේ විවිධ රටවලින්, කේරළයෙන්, මැලේසියාවෙන් මිනිස්සු ගෙන ආහ.පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පධාන වෙළඳ භාණ්ඩයක් වූයේ වහලුන් ය. 18 වනසියවසයේ අග භාගයේ 1000කට අධික කළු ජාතිකයින් කොටු බැම්මේ ඉදිකිරිම් හා නඩත්තු කටයුතුවල නිරත වූ අතර ඔවුන්ගේ දෛනික මධ්‍යසාර පංගුව ඩ්‍රෑම් 01කින් වැඩි කළ බව සඳහන් කරයි. විලිහම් ජාකෝර්බ් කොස්ටර්(Willem Jacobsz coster -1640), ජෑන් තීජ්සන් පර්සාට්(Jan Thijssen Payart -1640-46), ජෝන් මට්සුකර්(John Maetsuycker -1646-50), ජාකෝර්බ් ෆන් කයිටන් සන්(Jacob Fan Kittensteyn -1650-53 ) ඇතුලු ආණුඩුකාරවරු 04 දෙනෙකු ගාල්ල ස්වකීය පාලන කේන්ද්‍රස්ථානය කෙටෙ ගෙන පාලනය කරනු ලැබී ය. ඔවුන්ගේ නිළ නිවාස වර්තමානයේ නව කොට් දොරටුව ඉදිකළ ස්ථානයේ පිහිටා තිබූ අතර එම ගොඩනැගිලි පෘතුගිසි පාලකයින් විසින් භාවිතා කරනු ලැබූ ඒවා වෙයි.

ලන්දේසින් විසින් සකස් නළ පැරණිම සිතියම ලෙස ආණ්ඩුකාර අදිරියන් වැන්ඩර් මිඩන් (Adriaan Van Der Meyden 1653-60) මහ කොමසාරිස් රිජ්ක්ලොෆ් ෆන් ගූනස් (Rijckloff Van Goens 1660-63) ගේ දැනුම් දීම මත අදිරියන් ඩී ලිව් විසින් ක්‍රි.ව.1659 වසරේ නිර්මාණය කළ ගාල්ල කොටුවේ සිතියම හඳුන්වා දිය හැකි ය. අදිරියාන් වැන්ඩර් මීඩන් (Adriaan Van Der Meyden 1653-60) කොලම ප්‍රදාන පරිපාලන මධ්‍යස්ථනය බවට පත් කරනු ලැබූ පළමු ලන්දේසි පාලකයා වෙයි.  ක්‍රි.ව.1635 සිට ක්‍රි.ව.1660 දක්වාත් ක්‍රි.ව.1661 සිට ක්‍රි.ව.1663 දක්වාත් කාල පරිච්ඡේද වල ලංකාවේ ආණුඩුකාර ධූරය මොහු විසින් දරණු ලැබී ය. පෘතුගිසින් විසින් ඉදි කළ කොටු බැම්ම සහ නගරය පෙන්නුම් නරන පළමු ලන්දේසි සිතියම ලෙස මෙය හඳුන්වා දිය හැකි ය. .ක්‍රි.ව. 1659 මැයි මාසයේ මෙම සිතියම නිර්මාණය විය. විලියම් ජාකොබ් කෝස්ටර් (Willem Jacobsz Coster 1640) විසින් ගාල්ල කොටුව අත් කර ගැනීමට දියත් කළ සටනේ දී පෘතුගිසි කොටු බැම්ම මුලුමනින්ම විනාශ නොවී ය.  අදිරියන් වැන්ඩර් මීඩන් (Adriaan Van Der Meyden 1653-60) ආණ්ඩුකාරවරයාගේ ක්‍රි.ව.1659 සිතියමේ ප්‍රධාන මුර අට්ටාල 03කින් සැදි බලකොටු බැම්ම සෘජු රේඛාවක ස්වරූපයට පැහැදිලිව පෙන්වා ඇති අතර .ක්‍රි.ව.1659 කාලය වන විට හිරු, සඳු, තාරකා වශයෙන් නම් කර ඇති මෙම අට්ටාල සහිත බැම්ම මුල් ස්වරූපයෙන් පැවති ආකාරය පිළිබඳව වටහා ගත හැකි ය. කලු කොටුව (Black Fort) ප්‍රධාන පරිපාලන කලාපය ලෙස කැපී පෙනේ. කලු කොටුව ඇතුළත හා අවට ගොඩනැගිලි කිහිපයක්ම සිතියමේ දක්වා ඇති අතර ඉන් ගබඩා ගොඩනැගිල්ල විශේෂිත වෙයි. මේ කාලය වන විට ගාල්ල කොටුවේ ප්‍රධාන ගබඩා ගොඩනැගිලලේ කොටසක පමණක් වැඩ කටයුතු නිමා වී ඇති බව පෙනෙයි.

සිතියමේ පෙන්වා ඇති ගොඩනැගිලි කිහිපයක්ම 16,17 සියවසෙහි යුරෝපීය වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලට සමීප ඉදිරිපස ගේබල සහිත ඉදිකිරීම් සුවශේෂි වෙයි. මෙම කාලය වන විට ගාල්ල වරාය ලෙස භාවිතා වූ ප්‍රදේශයේ වෙරළ කලාපය භාණ්ඩ ගොඩබෑමේ හා පැටවීමේ කටයුතු සඳහා ජැටිය ඉදිකර නොතිබූ බව පෙනෙයි. ගාලු කොටුව සංවර්ධනය සඳහා අදිරියන් වැන්ඩර් මීඩ්න් (Adriaan Van Der Meyden 1653-60) ආණ්ඩුකාරතුමා විසින් විශේෂ කටයුතුකිහිපයක් යෝජනා කරයි. ඇකර්ස්ලූට් මුර අට්ටාලයයේ සට නව ඉදිකිරිමක් හරහා අණදෙන නිළධාරියාගේ නිළ නිවස පිහිටා ඇති ස්තානයටත් එතැන් සිට වර්තමානයේ විස් මාර්ක් මුර අට්ටාලය ස්ථානයටත් සම්බන්ධ වන පරිදි බලකොටුව වෙන් කිරිමට යෝජනා කර ඇත. ආණ්ඩුකාරවරයා අදහස් කළ ආකාරයටම ගාලු කොටුවේ ආකෘතිය පසු කාලීනව ක්‍රියාත්මක නොවුව ද සැලකිය යුතු වෙනසක් සිදුවිමට මෙම යෝජනාව ඉවහල් වී ඇති හඳුනා ගත හැකි ය.

මෙම සිතියමට අනුව ක්‍රි.ව.1659 වර්ෂය වන විට නගර සැලසුම් වූ ආකාරය පිළිබඳව ද තොරතුරු අධ්‍යනය කළ හැකි ය. කොටුව ඇතුළත ජාලාකාර ලෙසින් ඉදිකළ වීදි පද්ධතිය මඟින් ඇතුළත භුමිය කොටස් වලට වෙන් කර ඇත. ඇකර්ස්ලූට් අට්ටාලයේ සිට තාරකා අට්ටාලය දක්වා දකුණු මායිම ස්වභාවික ගල්පර වලින් පමණක් ආරක්සාව සලසාගෙන තිබේ. එම ප්‍රදේශයේ  ආරක්ෂක කටයුතු සඳහා කොඩිගල හෙවත් නෙදර්ලන්ත කොඩිය ස්ථාපනය කොටස පමණක් එක් මුර අට්ටාලයක් ඉදිකර තිබුණි.

පැරණි ලන්දේසි සිතියම් අතර මීළඟට හමුවන්නේ ජොහැන්නස් වින්ග් බූන්ස්(Johannas Wing Boons ) ක්‍රි.ව.1665-70 අතර කාල සීමාවේ නිර්මාණය කළ වෛර්ණ සිතියමයි. වර්ණ භාවිතා කරමින් වැඩි තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබීමත් නිසා ගාලු කොටුවේ නාගරික සැලසුමේ මීළඟ විකාශනය පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් මෙම සිතියමෙන් අධ්‍යනය කළ හැකි ය. මේ වකවානුව වන විට බලකොටුවේ ආරක්ෂක බැම්ම යම් ප්‍රමාණයකට සංවර්ධනය කරමින් ඇකර්ස්ලූට් මුර අට්ටාලය වඩාත් ශක්තිමත් කර තිබූ අතර කාලතුවක්කු කිහිපයක්ම රඳවා එහි ආරක්ෂාව සලසා ඇත. මෙම ස්ථානයේ වරායේ ප්‍රධාන කපිතාන්ගේ නිළ නිවස ආරක්ෂා කිරිම සඳහා ආරක්ෂක පවුරක් පසුකාලයේ ඉදිකරනු ලැබී ය. මෙම මුර අට්ටාලය විලියම් ජාකොබ් කෝස්ටර් සිහිපත් කරනු වස් නෙදර්ලන්තයේ ඔහු උපන් ප්‍රදේශය වන ඇකර්ස්ලූට් නමින් කරනු ලැබී ය. කළු කොටුවේ සිට එවලූස් මුර අට්ටාලය දක්වා කොටු බැම්ම ඒ වන විට සංවර්ධනය කර ඇති බව හඳුනාගත හැක ය. එවලූස් අට්ටාලය අදිරියන් වැන්ඩර් මීඩන් (Adriaan Van Der Meyden 1653-60) ආණ්ඩුකාරතුමාගෙන් පසුව ඉදිකරන ලද්දක් බව පෙනෙයි. ලන්දේසි සිතියම් වල එවලූස් අට්ටාලය New Point ලෙස ලෙස පෙන්නා ඇති අතර 17 සියවසේ මැදභාගයේ මෙම කෙටසේ ඉදිකිරීම් සිදුකර තිබේ. කළු කොටුවේ සිට ඇකර්ස්ලූට් දක්වාත් එතැන් සිට ඒලුස් අට්ටාලය දක්වා ද ප්‍රදේශයපෘතුගිසින් විසින් ස්වභාවිකව පිහිටි ගල්පරවලින් ආරක්ෂාව සලසාගෙන ඇත.

කොඩිගල ප්‍රදේශය පෘතුගිසි ජාතිකයන් විසින් ද ප්‍රධාන මුර මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගැණුන නිසා එම උපයෝගීතාව ලන්දේසි විසින් මුහුදේ ගමන් කරන නැව් වලට ගාල්ල ප්‍රදේශය හඳුනා ගැනීමට ප්‍රධාන සංඥා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන ලදී. කොටු බැම්ම ඉදිකිරීමේ දී ගාලු කොටුව පිහිටි භූමියේ විශේෂතා හඳුනාගෙන ඊට අනුරූපී වන පරිදි ආරක්ෂක බැමි සංවර්ධනය කිරීමට ලන්දේසිහු උත්සහගත් බව පෙනෙයි.කොටු බැම්ම ඒකාකාරීව සංවර්ධනය කරනවා වෙනුවට භූමි මායිමේ තෝරාගත් ස්ථානවල මුර අට්ටාල ඉදිකර එම මුර අට්ටාලයට බැම්මේ අවසාන වශයෙන් වැඩ ඉතිරි කළ ස්ථානය සම්බන්ධ කරනු ලැබී ය. බොහෝමයක් මුර අට්ටාල ඉදිවුයේ ස්වභාවික ගල් පර්වත මතයි. ඇතැම් සිතියම්වල ක්ලිපර්න්බර්ග් අට්ටාලය නව වැඩපළ New Work ලෙස පෙන්වා තිබේ.

17 වන සියවසයේ මුල් අවධියේ ද ගාල්ල කොටුවේ රෝහල් වීදිය, මැද වීදිය, ලේන්බාන් වීදිය, ප්‍රදීපාගාර වීදිය, පෙඩ්ලර් වීදිය, පල්ලිය වීදිය ලෙසින් වර්තමානයේ හඳුන්වනු ලබන වීදි කිහිපයම ස්ථාපිතව තිබූ බව පැහැදිලිය. එසේම වර්තමානයේ රැම්පාර්ට් වීදිය ලෙසින් හඳුන්වන බැම්මට සමාන්තරව කොටුව ඇතුළතින් වීදියක් පිහිටා ඇති බව සිතියමේ දක්වා ඇති අතර පසුකාලීන සිතියම්වල මෙම වීදිය හඳුනාගත නොහැකි ය. මුල් කාලයේ සිතියම්වල ප්‍රදීපාගාර වීදියට සම්බන්ධ වන එමෙන්ම පෙඩ්ලර් වීදියට සමාන්තරව විහිදී යන ක්ල්පර්න්බර්ග් අට්ටාලය දෙසින් ආරම්භවන අතිරේක විදියත්, ප්‍රදීපාගාර වීදියට සමාන්තරව කොඩිගල ආසන්නයේ ආරම්භ වී පෙඩ්ලර් වීදිය හරහා තාරකා අට්ටාලය දෙසට ගමන් ගන්නා අතිරේක වීදියත් මෙහි හඳුනාගත හැකි ය. ගොඩනැගිලි පද්ධති ඉදිවීමත් සමඟ පසු කාලයේ මෙම වීදි අභාවිත විය.

ගාල්ල නගර සැලසුමේ මුල් අයිතිකරුවන් පෘතුගිසි ජාතිකයන් බවපෙන්වීමට මෙය කදිම උදාහරණයකි. කලු කොටුව ස්ථර දෙකකින් ඉදිකර තිබෙන අතර පහත මාලයේ බැම්ම දෙපස ගොඩනැගිලි පේළි දෙකකි.

පසුකාලීන සිතියම්වල මෙම ගොඩනැගිලි පේළි කම්මල්කරුවන්ගේ කර්මාන්තශාලා ලෙස භාවිතයට ගෙන අතර ආයුධ නිෂ්පාදනය කිරිමේ කටයුතු සඳහා මෙම ගොඩනැගිලි යොදාගන්නට ඇත. මුල් සිතියම්වල ලන්දේසි රෝහල, වෛද්‍යවරයාගේ නිළ නිවස, කර්මාන්ත ශාලාව, කර්මාන්තශාලාකරු ගේ නිළ නිවස වශයෙන් වෙන් කර දක්වා තිබේ.

මහ පල්ලිය හෙවත් ප්‍රධාන දේවස්ථානය පෙඩ්ලර් වීදියත් පල්ලිය වීදියත් හමුවන මංසන්ධියේ ඉදිකර තිබූ බව සිතියම් වල දැක්වේ. පල්ලිය වීදියට එම නම යෙදීමට හේතු වූයේ ද මෙම මහ දේවස්ථානය පිහිටීම හේතුවෙනි. බොහෝ විට මෙම මහ පල්ලිය පාතුගිසින් විසින් ඉදිකරනු ලැබූවකි. පසු කාලිනව ඇඳි සිතුවම් වලද මහ දේවස්ථානය සිතුවමට නඟා තිබේ. තවත් දේවස්ථානයක් සඳු අට්ටාලය සමීපයේ ඉදිකර තිබූ අතර කාපිරි හෙවත් අප්‍රිකානු වහල් සේවකයින් වෙනුවෙන් ඉදිකරනු ලැබූවකි. ඔවුන්ගේ සුසාන භූමිය ද එම ප්‍රදේශයේ  පිහිටා තිබුණි.

මෙම දේවස්ථාන දෙකම පැරණි තත්වයේ පැවති හෙයින් වැඩි කාලයන් භාවිතා කිරිමට නොහැකි වූ බව එම සිතියම් පිරික්සීමේ දී පෙනෙයි. හිරු අට්ටාලය කොටුවේ ප්‍රධාන මුර මධ්‍යස්ථානය ලෙස පැවතුණි. අට්ටාලයත් වෙරළ කලාපයත් අතරින් ආරක්ෂිත දොරටුවකින් කොටුවට ඇතුළු විය යුතුව තිබුණි. ප්‍රධාන මුර මධ්‍යස්ථානයෙන් ආරක්ෂාව සපයා ගැනීමට අවශ්‍ය වූයෙන් අතීතයේ ආණ්ඩුකාරතුමාගේ නිළ නිවස පිහිටියේ හිරු අට්ටාලයට යාබද පෙදෙසකය. වර්තමානයේ එම ප්‍රදේශය නව කොටු දොරටුවෙන් ඇතුළු වූ පසු වම්පසින් දිස්වන අතර වර්තමානයේ පොදු ක්‍රිඩා පිටියක් ලෙස එම භූමිය භාවිතා වෙයි. ආණ්ඩුකාරතුමාගේ නිළ නිවාසය පිහිටි පරිශ්‍රයේ ගොඩනැගිලි කිහිපයක්ම තිබුණි.

ගාල්ල කොටුව තුළ ලන්දේසීන් විසින් සිදුකරනු ලැබූ නගර සංවර්ධනයේ විකාශනය පිළිබඳ අධ්‍යනය කිරීමේ දී ඉතා වැදගත් තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් කරන නිවැරදි සහ පරිමාණුකූල සිතියමක් 17වන සියවසයේ අගභාගයේ ජේ.සී.ටූසී(J.C.Toozy) විසින් නිර්මාණය කරන ලදී. සිතියමට අනුව කොටු බැම්මේ කොඩිගල දක්වා සංවර්ධන කටයුතු මෙම වකවානු වන විට නිමාවට පත් කර ඇත. ට්‍රයිටන් මුර අට්ටාලය නව වැඩපල(New Work) ලෙස සටහන් කර තිබේ. මෙම සිතියමට අනුව ඒ වන විට ගාලු කොටුවේ වර්තමානයේ හඳුනාගත හැකි වීදි සැකැස්ම නිර්මාණය විය. ප්‍රධාන වීදි ලෙස මැද වීදිය, ප්‍රදීපාගාර වීදිය, පල්ලි වීදිය,ලේන්බාන් වීදිය (Middle Street, Zee Burg Street, Krerk Street, Leign Baan Street) ඒ වන විට හඳුනාගත හැකි ය.

සෑම වීදියකටම මුහුණලා පද්ධති හැඩයෙන් ගොඩනැගිලි ඉදිකරනු ලැබී ය. ප්‍රධාන වීදියට විවෘත වූයේ ගොඩනැගිල්ලේ පටු මුහුණත ය. ප්‍රධාන වීදි කිහිපයකටම ආවරණය වන පරිදි ගොඩනැගිලි ඉදිකරනු ලැබූ අතර මෙම සම්ප්‍රදායේ මූලික ආභාසය 17 වන සියවසයේ පාතුගිසි ජාතිකයින් විසින් හඳුන්වා දුන් ස්වරූපය වෙයි. සිතියමට අනුව කොටුව භූමියේ විවෘත කලාප (Open spaces) පැහැදිලිව වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ. එසේම සෑම ගොඩනැගිලි පද්ධතියක් තුළම එම ගොඩනැගිලි පිටුපසින් විවෘත භූමි ප්‍රදේශ (Open spaces) ඉතිරි කර තිබේ. ඇතැම් විට ලන්දේසීන් විසින් පැරණි ගොඩනැගිලි විනාශ වී ගිය ස්ථානවල නැවත ගෙඩෙනැගිලි ඉදිකීරිමක් සිදු නොකර විවෘත කලාප හා විවෘත භූමි ලෙස පවත්වාගෙන යනු ලැබූ බව පැහැදැලැ ය. උදාහරණයක් වශයෙන් පල්ලි වීදියේ පිහිටි පැරණි දේවස්ථානය විනාශ වී ගිය පසු 18 සියවස අවසානය දක්වා එම භූමි විවෘත කලාපයක්  ලෙස ඉතිරි කළහ. එසේම ලන්දේසි පාලන සමයේ මුල් අවධියේ ඉදිකරන ලද ආණ්ඩුකාරතුමාගේ නිළ නිවස විනාශ වී ගාය පසු එම ප්‍රදේශය තුළ ගොඩනැගිලි ඉදි නොකර විවෘත කලාපයක් පවත්වා ගෙන ආ බව පෙනෙයි.

එසේම කොටුවේ භූ විෂමතාවය සංවර්දනයට බාධාකාරී වූ ඇතැම් ප්‍රදේශ එලෙස විවාත භූමි ලෙස ඉතිරි කළහ. විශේෂයෙන්ම ඒලුස්, ක්ලිපරින්බර්ග්, ට්‍රයිටන් ආදී මුර අට්ටාල ආශ්‍රිත භූමි ප්‍රදේශ මඩ වගුරු සහිත විම නිසා සංවර්ධනය කිරිමට අපහසු වූ ප්‍රදේශ විය.

එසේම ඇතැම් ප්‍රදේශ සංවර්දනය කළ හැකි වූවත් පොදු භාවිතය සඳහා ඉතිරි කර තැබූහ. විශේෂයෙන් ගබඩා ගොඩනැගිල්ල, ලන්දේසි රෝහල, ඇක්ර්ස්ලූට් විශාල භූමි ප්‍රදේශය,සමුහ පොළ, කඩ වීදිය(Bassaer) ලෙස භාවිතා කළහ. මෙම භූමිය කළු කොටුව හා ඇකර්ස්ලූට් මුර අට්ටාලය අතුරින් මුහුදු වෙරළට විවෘතව පිහිටා තිබුණි. විශේෂයෙන් ගබඩා ගොඩනැගිල්ල ආශ්‍රිතව වරායේ සිට වෙළඳ භාණ්ඩ බෑමේ හා පැටවීමේ ක්‍රියාවලිය සඳහා ජැටි ඉදිකර නොතිබුණ අවස්ථාවල එම විවෘත බුමියේ සවිකර තිබූ ලීවර භාවිතයෙන් එම කර්තව්‍යය සිඳු කරනු ලැබී ය. මෙම එළිමහන් භූමිය වෙළඳ කටයුතු සඳහා භාවිතා වූයේ එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසිනි. මුල් වකවානුවේ ගබඩා ගොඩනැගිල්ලිට ඉදිරිපසින් පිහිටි වෙරළ කලාපය වරායේ ජැටි ඉදිකීරිමක් හෝ වරායක් ලෙස සංවර්ධනය වීමක් සිදු නොවූව ද 17 වන ශත වර්ෂයේ අවසාන භාගය වන විට භාණ්ඩ හුවමාරු කටයුතු සඳහා ජැටිය ඉදිවූ බව සිතියම පිරික්සීමෙන් පැහැදිලි වෙයි. ටූසී ගේ සිතියම පරික්ෂා කිරිමේ දී මෙම කාලය වන විට ඉදිකර තිබූ සෑම ගොඩනැගිල්ලක්ම සළකුණු කර ඇති බව පෙනෙයි. ලන්දේසි පෙරදිග වෙළඳ සමාගමට අයත් ගොඩනැගිලි, පුද්ගලික නිවාස හා ආගමික ගොඩනැගිලිත්, ආරක්ෂක උපක්‍රම සලදහා ඉදිකරනු ලැබූ ගොඩනැගිලි මෙකල ගාලු කොටුවේ ඉදිකිරිම් අතර විශේෂ වෙයි. රෝහල් ගොඩනැගිල්ල, ආණ්ඩුකාරවරයාගේ නිළ නිවාසය, කාපිරි දේවස්ථානය, ගබඩා ගොඩනැගිල්ල ආදී සමාගමට අයත්ව තිබූ ගොඩනැගිලි මේ අතර සුවිශේෂි වේ. ගොඩබිම ප්‍රදේශය හා බලකොටුව වෙන් කිරිම සඳහා දෙපස මුහුදු තීර යා කරමින් දිය අගල නිර්මාණය කරනු ලැබුවේ ද 17 වන සියවසයේ අවසාන භාගයේ දී වන අතර එය ගොඩබිම දෙසින්එල්ල වන සතුරු බලවේගවලට මුහුන දීමේ දී ආරක්ෂක උපක්‍රමයක් ලෙස 1669 දී වක්වැල්ලේ සිට මහ මොදර දක්වාත්, මහමොදර සිට ගාල්ල වරාය දක්වාත් සකස් කරනු ලැබූ අභ්‍යන්තර ඇළ මාර්ගය වරායට සම්බන්ධ කිරිම පිණිස භාවිතා වූයේ ය. මලබාරයේ සිට රැගෙන ආ මිනිසුන් විසින් මෙම ඇළ ඉදිකළ බව සඳහන් වේ.

ක්‍රි.ව.1698 ජුනි මස ජේ.සී. ටූසී(J.C.Toozy) විසින් ආණ්ඩුකාර ජෙරිට් ඩි හියර්(Gerrit De Heere 1797-1702) විසින් සිදු කරනු ලැබූ සංචාරයකට පසුව ගාල්ල කොටුවේ පවත්නා තත්වය පෙන්නුම් කිරිමට නිර්මාණය කරනු ලැබූ සිතියම ඉතා සුවිශේෂි ලේඛනයකි. මෙම සිතියමේ විශේෂත්වය වනුයේ මෙම කාලය වන විට ගාලු කොටුව තුළ ඉදිකර තිබූ වැදගත් ගොඩනැගිලි කිහිපයකම නිවැරදි පරිමාණුකූල බිමි සැලසුම් දක්වා තිබීමයි. එකි සිතියම පිරික්සීමෙන් ක්‍රි.ව.1698 ජුනි මාසය වන විට ගාලු කොටු බැම්මේ සියලු ඉදිකිරිම් නිමාවට පත් වී ඇති බව පැහැදිලි වෙයි. වරාය කටයුතු සඳහා සහ පොදු වෙළඳපොළ ලෙස භාවිතා කරනු ලැබූ කළු කොටුව සහ ඇකර්ස්ලූට් අට්ටාලය අතර භූමිය මෙම කාලය වන විට ඉදිකිරිම් කිහිපයක් ආරම්භකර ඇත. එම අවධියේ කොටුවේ ප්‍රධාන වීදි ලෙස පල්ලිය වීදිය, පෙඩ්ලර් වීදිය, ප්‍රදීපාගාර වීදිය, රෝහල වීදිය, ලේන්බාන් වීදිය, චැන්ඩෝ වීදිය, පරාවා වීදිය(De Kerk Street, De Zeburg, De Moor Street, De Niew Leijnbaan Street, De Over Lejinbaan Street, De Chindo Street, De Parawa Street ) ලෙස හඳුනාගත හැකි ය.

මේ වකවානුවේ කොටුවට ඇතුල්වන දොරටුව ඉදිරිපස ප්‍රධාන වරායේ ජැටිය ඉදිකර ඇත. ජැටිය අවට ප්‍රදේශය යාත්‍රා අලුත්වැඩියා කිරිමේ කර්මාන්ත ශාලා භූමිය ලෙස සංවර්දනය විය. ලන්දේසි රෝහල, ගබඩා ගොඩනැගිල්ල, ප්‍රධාන අණදෙන නිළධාරියාගේ නිවාසය ඇතුළු විශේෂ වටිනාකමකින් යුත් ගොඩනැගිලි කිහිපයක්ම මෙම සිතියමේ සවිස්තරව දක්වා තිබීම විශේෂත්වයකි. ලන්දේසින් සංවර්දනය කරනු ලැබූ නගර සැලසුම ඉතා පැහැදිලිව මෙම සිතියම තුළින් අධ්‍යනය කළ හැකි ය. නගර සැලසුමට අනුව නේවාසික ගොඩනැගිලි බලකොටුව ඇතුළතට කේන්ද්‍රගත වීමක් හඳුනාගත හැක අතර කොටු බැම්ම ආශ්‍රිතව පිහිටා ඇති අවට භූමිය නේවාසික පහසුකම් ස්ථාපනය කිරිම පිණිස යොදාගත් බව නොපෙනෙයි. සඳු අට්ටාලයේ සිට හිරු අට්ටාලය දක්වා පමණක් දිය අගල මෙම වකවානුවේ ඉතිරිව තිබුණි. එසේම ක්‍රි.ව.1684 සිට ෆැන්සිස් වැලන්ටයින් ඔහුගේ රාජකාරි ජීවිතයේ ලැබු අත්දැකීම් අළලා සකස් කළ ග්‍රන්ථ කිහිපයක් ක්‍රි.ව.1724 හා ක්‍රි.ව.1726 වර්ෂ වලදී  ප්‍රකාශයට පත් කරනු ලැබී ය. ක්‍රි.ව.1726 දී ඔහු විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ ග්‍රන්ථයේ ගාල්ල කොටුවේ සිතියමක් ද ඇතුලත්කර ඇත. ජොහැන් වුල්ෆ්ගැන්ග් හෙයිඩිට් (Juhann Wolfgang Hydt) වාස්තු විද්‍යාඥයෙකු ලෙස ක්‍රි.ව.1733 දී සමාගමට සේවයට බැඳුනේ ය. ලංකාවට සේවය කරන කරන කාලයේ දී ලංකාවේ එවකට ඉදිර තිබූ ලන්දේසි බලකොටුවල සැලසුම් ඔහු විසින් නැවත සකස් කරන ලදී. ගාල්ල කොටුවේ ලනිදේසි නගර නිර්මාණ සැලසුම් පිළිබඳව අධ්‍යනයේ දී ඔහු විසින් සකස් කරනු ලැබූ ගාල්ල කොටුවේ බිම් සැලසුම අතිශය වැදගත් වෙයි. විවිධ කෝණ වලින් ගාල්ල කොටුවේ වීදි දර්ශනය, අභ්‍යන්තර පරිසරය, ගොඩනැගිලි පිහිටීම ඔහු විසින් සිතුවමට නඟා ඇති අතර එකල නාගරික සැලැස්ම පිළබඳව එමඟින් හෙළවන තොරතුරු රැසකි.

ජොහැන් වුල්ෆ්ගැන්ග් හෙයිඩිට්(Juhann Wolfgang Hydt) ගේ සිතියමට අනුව ක්‍රි.ව. 1733 වන විට නගරයක් ලෙස ගාල්ල කොටුවේ සමස්ත සංවර්ධනය පෙන්නුම් කරයි. කොටුවේ අභ්‍යන්තර වීදි මඟින් ගොඩනැගිලි පද්ධතිවල (Building Blocks) පිහිටීම වෙන් කර දක්වා ඇත. නගරයේ වීදි මඟින් ‍ෙවන් කරනු ලැබූ ගොඩනැගිලි පද්ධති 14ක් මෙම සිතියමේ පැහැදිලිව දක්වා ඇත. මෙම කාලය වන විට පරාවා වීසිය හා චැන්ඩෝ වීදිය දෙපස ද ගොඩනැගිලි ඉදිවී ඇති අයුරු හඳුනාගත හැකි ය. එතෙක් සංවර්ධනය කිරිමට නුසුදුසු තත්වයේ පැවති එම ප්‍රදේශය පදිංචිය සඳහා නිවාස ඉදිකිරිමට භාවිතා කරනු ලැබූ නිසා සංවර්ධනයට ලක් වූ බව පෙනෙයි. ජොහැන් වුල්ෆ්ගැන්ග් හෙයිඩිට් (Juhann Wolfgang Hydt) ගේ තොරතුරු වලට අනුව මේ කාලය වනවිට විවිධ ජන කොට්ඨාශ වලට අයත් ජනතාව ගාලු කොටුව තුළ ජීවත් වූහ. කොස්ටිසෝස්, මෙස්ටිසෝස්, මුවර්වරු, මලබාර්වරු, සිංහලයින්, හෙට්ටිවරු (Costizos, Mestizos, Moor, Malabar, Sinhalese, chetties) මිශ්‍රව ජීවත් වූ බව කියැවේ.

ගාල්ල කොටුව ආශ්‍රිත වෙරළ කලාපය ආශ්‍රිතව මැටි භාවිතයෙන් ඉදිකළ ගොඩනැගිලි රාශියක් පිහිටි බව හෙඩිට් සඳහන් කරයි. ඔහු විස්තර කරනුයේ එම නිවාස සිංහලයින්ට අයිති ගොඩනැගිලි බවත්, ඔවුහු වනාන්තර ආශ්‍රිතව ජීවත් වූ නිසා ගාල්ලේ ද කෑළෑ ආශ්‍රිත පරිසරයේ නිවාස තනාගෙන ජීවත් වූ බවයි. ගාල්ල කොටුව ආශ්‍රිත විශාල වශයෙන් පොල් උද්‍යාන පවතිනබව හෙඩිට් පවසයි. එම පොල් වලාන් වයින් වර්ග නිෂ්පාදනය කරනු ලැබූ ආකාරය ඔහු සටහන් කරයි. හෙතෙම සඳහන් කරනු ලැබූ පහත සඳහන් විස්තරය ගාල්ල කොටුවේ පිහිටි ලන්දේසිකයන්ට අයත් ගොඩනැගිලි පිළිබඳ මනා චිත්‍රයක් මවනු ලබයි

‘සියලුම ගොඩනැගිලි පද්ධතීන් අපේ සිතියමේ දක්වා ඇත. ඒවායේ නිවාස හිමියෝ ද සමාගම් සේවකයෝ ද ජීවත් වූහ. එම නිවාස වලින් කිහිපයක් සුප්‍රසිද්ධ පුද්ගලයින්ට අයත්ව තිබුණි. සමාගමට අයත්ව තිබූ වටිනා ගොඩනැගිලි ද කොටු බැම්මේ ඉදිකිරීම් කටයුතු කරන ස්ථානත් සිතියමේ අක්ෂර වලින් පෙන්වා ඇත. ගාල්ල කොටුවට ඇතුල්වීම සඳහා පිහිටියේ එක් දොරටුවකි. කොටුවේ ඈත කෙළවර සිට කොටුවෙන් පිටතට යාමට මෙම දොරටුව වෙත පැමිණීම දුෂ්කර ක්‍රියාවක් විය. කොටුව ඇතුළතින් පිරිසිදු ජලය සපයා ගත හැකිව තිබුණේ ස්වල්පයකි. වරායට යාබදව පිහිටි පොල් රුප්පාවේ ඉතා පිරිසිදු ජල උල්පතක් පිහිටා ඇත. ආහාර පිළියෙල කිරිමට සහ බීමට මෙම ප්‍රදේශයේ සිට ජලය ගෙන්වනු ලැබී ය. පිරිසිදු කිරිමේ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රමාණයට ජලය කොටුව ඇතුළත ළං වල තිබුණි. කොටුව තුල ජනතාව ඉතා සංතුෂ්ටියෙන් ජීවත් වූහ. ආරක්ෂාව පිණිස 200-250 කින් සමන්විත හමුදා බලකායක් කොටුව ඇතුළත ස්ථාපනය කර සිටියේ ය. මුල් අවධියේ කපිතාන් කෙනෙකු විසින් ද දෙවන අවධියේ ඕවර්සියර් (පරීක්ෂක) කෙනෙකු විසින් ද අවසාන කාලයේ පරිපාලකයෙකු විසින් ද කොටුවේ පාලන බලය ක්‍රියාත්මක කරනු ලැබී ය. ඔවුනට ඉහළින් සියළු බලතල සහිතව ප්‍රධාන අණදෙන නිළධාරියෙකු සිටියේ ය. ඉහත නිළධාරීන් දෛනිකව ප්‍රධාන අණදෙන නිළධාරී වෙත සියළු තොරතුරු වාර්තා කළ යුතු විය. මගේ කාල සීමාව තුළ හර් ඩි ඉයොංග් () විසින් එම තනතුරේ වැඩ කටයුතු උසුලනු ලැබී ය. ඔහු මීට ප්‍රථම කොළඹ ප්‍රදේශයේ දිසාවේ තනතුර දැරූවෙකි.

ජොහැන් වුල්ෆ්ගැන්ග් හෙයිඩිට්(Juhann Wolfgang Hydt) ගේ සැලසුමෙහි සමාගමේ වගකීම් සහිත ප්‍රසිද්ධ පුද්ගලයින් ජීවත් වූ නිවාස පිළිබඳව විස්තර කර ඇත. එම නිවාස ගාල්ල කොටුව මැද වීදියේ ගොඩනැගිලි පද්ධති 03 ආශ්‍රිතව හඳුනා ගත හැකි ය. ප්‍රධාන මුර අට්ටාල 03 න් මෙම නිවාස වලට ආරක්ෂාව ලැබෙන පරිදි නගරය නිර්මාණය කිරිමේ දී ලන්දේසි ජාතිකයෝ සැලකිලිමත් වූ බව හඳුනාගත හැකි ය. ලන්දේසි සිතියම් අතර ක්‍රි.ව.1790 දී ප්‍රංශ ඉංජිනේරු රයිමර් විසින් සකස් කරනු ලැබූ සිතියම විශේෂත්වයක් ගනී. රයිමර් විසින් මෙම සිතියමෙහි කොටුව අභ්‍යන්තරයේ පිහිටි ගොඩනැගිලි සියල්ලම සටහන් කර තිබේ. වරාය කටයුතු පුළුල් වීම නිසා ද කොටුවෙන් පිටත පිහිටි මාර්ග පද්ධතිය සංවර්ධනයට ලක් වී ඇති බව පෙනේ. රට අභ්‍යන්තරයේ සිට ගාල්ලට භාණ්ඩ ප්‍රවාහනය කිරිම සඳහා වීදි රැසක් සංවර්ධනය වූ අතර විශේෂයෙන්ම අභ්‍යන්තර ඇළ මාර්ග සියල්ලම කැප්පු ඇළට සම්බන්ධ කරමින් කැප්පු ඇළ හරහා වරායට ඔරුපාරු මගින් භාණ්ඩ ප්‍රවාහනයට කටයුතු කරගෙන යනු ලැබී ය. මෙම වකවානුව වන විට ලන්දේසින්ට වරායක් ලෙස ගාල්ල සංවර්ධනය කර ඊට අවශ්‍ය යටිතල පහසුකම් ගාල්ල නගරය තුළ ඇති කිරිමෙන් ගාල්ල කොටුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපක්‍රම තහවුරු කර ගැනීමට අවශ්‍ය වූයේ ය. විශේෂයෙන්ම ක්‍රි.ව.1780 න් පසු ජාත්‍යන්තර වෙළඳ කාටයුතු කෙරෙහි බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය බලවත් වීමත් ක්‍රි.ව.1780 න් පසු ලංකාවේ කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය රාජ්‍ය සමඟ සබඳතා ගොඩනැගීමට උත්සහ ගැනීම, ප්‍රංශ ජාතිකයින් විසින් ත්‍රිකුණාමලය වරාය අල්ලා ගැනීමට උත්සහ ගැනීම ආදී දේශපාලනික බලපෑම් නිසා ගාල්ල බලකොටු නගරයේ ආරක්ෂාව තවදුරටත් තර කර ගැනීම අවශ්‍ය විය. මෙම ව්‍යාපෘතියේ මුලිකයා වූයේ ප්‍රධාන ඉංජිනේරු රයිමර් ය.

ඔහුගේ සැලසුමට අනුව ලන්දේසීන් විසින් ගාල්ල කොටුවේ ට්‍රයිටන් අට්ටාලයේ සිට දකුණු ප්‍රදේශයේ අලිගල හරහා ඇකර්ස්ලූට් දක්වා පැතිර ගිය ස්වභවික ගල්පරය යා කරමින් නව බැම්මක් ඉදිකිරිමට සැලසුම් කරයි. මෙවැනි ඉදිකිරිම් රයිමර් විසින් ඉදිරිපත් කළ ද ක්‍රි.ව.1787 ආසන්න වර්ෂවල සැලසුම් වල ද මෙම යෝජනා කර ඇති බව හඳුනාගත හැකි ය.

මෙම සැලසුමට අනුව කොටු බැම්ම වටා පිහිටි මුර අට්ටාල කිහිපයක් ඒකාබද්ධ කර බාම්මේ හැඩය වෙනස් කිරිමටත් අදහස් කර ඇති බව පෙනෙයි. විශේෂයෙන් ගොඩබිම හා සම්බන්ධ වන හිරු,  සඳු, තාරකා මුර අට්ටාල 03 ගොඩබිම දෙසට තවදුරටත් විහි දී යන පරිදි පුළුල් කිරිමට මෙම සැලසුම අනුව යෝජනා කරයි.

ලන්දේසින්ට ගාලු කොටුවේ ආරක්ෂක බැම්ම ශක්තිමත් කිරිමටත් ගාලු කොටුවේ භූමි ප්‍රමාණය සමුද්‍රය දෙසින් වර්ධනය අවධානය යොම් කර තිබේ. ඒ අනුව ගොඩබිම දෙසට මුහුණලා පිහිටි මුර අට්ටාල 03 තව දුරටත් ගොඩබිම දෙසට ප්‍රසාරණය කිරිමටත්, කොටුවට ඇතුළුවීම සඳහා ප්‍රධාන මුර අට්ටාලය ලෙස සඳු මුර අට්ටාලය සංවර්ධනය කිරිමටත් සැලසුම් විය. එසේම ඒලුස් මුර අට්ටාලය සහ ක්ල්පර්න්බර්ග් අට්ටාලය ඒකාබද්ධ කරමින් ප්‍රධාන අට්ටාලයක් වශයෙන් සංවර්ධනය කිරිමට යෝජනා කර තිබේ. කොටුවේ දකුණු ප්‍රදේශයේ පිහිටි ස්වභාවික ගල් පර්වත දෙකක් ආධාර කරගනිමින් ක්ලිපර්න්බර්ග් අට්ටාලයේ සිට අවුරෝරා අට්ටාලය දක්වා ප්‍රදේශය අළුත් බැම්මක් යොදා එම ප්‍රදේශය පස් පුරවා අළුත් ගොඩබිමක් ලෙස සංවර්ධනය කිරිමට සැලසුම් කර තිබූ බව පෙනෙයි. එසේම වරාය ප්‍රධාන තටාංගනය ලෙස එම නව භූමියේ දකුණු අර්ධය සංවර්ධනය කිරිමට කටයුතු යොදා ඇති මෙම නව නගර සංවර්ධනය සැලසුමේ විශේෂ ලක්ෂණය ලෙස ගබඩා ගොඩනැගිල්ල ආශ්‍රිත වෙරළ කලාපය ඇතුළු තෝරාගත් බිම් කිහිපයක් හරිත කලාප ලෙස සංවර්ධනය කිරිමට උත්සහ ගැනීමයි.එසේම පැරණි මාර්ග පද්ධතිය දකුණේ නව භූමි ප්‍රදේශය දක්වා ප්‍රසාරණය කිරිමටත්, නව වීදි කිහිපයක් හඳුන්වා දීමත් සැලසුමට ඇතුළත් වී තිබේ. ලන්දේසි පාලන සමය අවසාන භාගයේ දී ගාල්ල නගර සැලසුම වෙනස් කිරිමේ අවශ්‍යතාවයක් ලන්දේසි ජාතිකයින්ට ඇති වූ අතර එහි මූලිකත්වය ගනු ලැබුවේ ඉංජිනේරු රයිමර් විසිනි. රයිමර් වැඩි වශයෙන් අවධානය යොමු කරනු ලැබූවේ කොටු බැම්මේ මුර අට්ටාලවල ශක්තිමත් භාවය තහවුරු කිරිමටය. සැලසුමට අනුව කොටුවේ ප්‍රධාන අට්ටාල තුන බැමි කිහිපයක් දක්වා සංවර්ධනය කිරිමේ අවශ්‍යතාවය මතුකරයි. හිරු අට්ටාලයත්, ගබඩා ගොඩනැගිල්ලත් නව මුර අට්ටාලයත් සංවර්ධනය කිරිමටත් ඒ අනුව වරාය කටයුතු සඳහා නව ජැටියකුත් ඒලූස් මුර අට්ටාලය සංවර්ධනය කිරිමෙන් පසුව තාරකා අට්ටාලයත් ඒලූස් අට්ටාලයත් අතර නව ජැටියක් ඉදිකිරිමට ද යෝජනා කර තිබේ.

ගාල්ල කොටුව සංවරුධනය කිරිම සඳහා ලන්දේසි ජාතිකයින් වසින් ඉදිරිපත් කරනු ලැබූ සැලසුම් අතර ගාලු කොටුව වෙනස් කිරිම සඳහා වැඩි වශයෙන් අවධානය යොමු කරනු ලැබුවේ ක්‍රි.ව. 1770 න් පසුව බව පෙනේ. කෙසේ වෙතත් ක්‍රි.ව.1640 දී පෘතුගිසින්ගෙන් ගාල්ල කොටුව ලබා ගත්ත ද එතැන් සිට ක්‍රි.ව.1796 දක්වාම විවිධ මට්ටමේ සංවර්ධන කටයුතු ලන්දේසීන් විසින් සිදු කැනු ලැබූ බව පැහැදිලි ය.

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...