තැපැල් කාර්යාලයීය ගොඩනැගිල්ල -POST OFFICE BUILDING
ආණ්ඩුකාරවරයාගේ නිල නිවස ඉදිරිපිට පල්ලිය වීදියට මුහුණ ලා පිහිටා ඇති මේ ගොඩනැගිල්ල ලන්දේසි පාලන සමයේ ගොඩනැගිලි දෙකක් වශයෙන් භාවිතා කර ඇත. ඒ පරිපාලන නිලධාරියාගේ නිල නිවාසය සහ කාර්යාල සහකාර නිල නිවාසය වශයෙනි. 19 වන සියවසේ මේ ගොඩනැගිල්ල බ්‍රිතාන්‍යයන්ගේ ආහාර ගබඩාව ලෙස ප්‍රයෝජනයට ගෙන ඇත. ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ කටයුතු පිළිබඳ කාර්යාලය පවත්වා ගෙන ලද්දේ මේ ගොඩනැගිල්ලේය. ගෙවිම් කාර්යාලය මගින් ලන්දේසි වෙළද සමාගමට අනුයුක්තව ගාල්ලේ සිටි නිලධාරින්ගේ පරිපාලන කටයුතු මෙහෙයවන ලද අතර එය පොත් තබන්නන් හා ලිපිකරුවන් ඇතුළු නව දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයකින් සමන්විත විය. පසු කලෙක එය ගැරිසන් පුස්තකාලය ලෙස ද , ඉන්පසුව ගාලු පුස්තකාලය වශයෙන් වෙනස් වී ඇත. වෙළඳ කාර්යාලයට සියලුම වෙළඳාම් කටයුතු සහ බඩු ගබඩාව සම්බන්ධ කටයුතු භාර වී තිබිණ. 1915 පසුව එය ටෙලිග්රාෆ් කාර්යාලය ලෙසත්, පසුව ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලය ලෙසත් භාවිතයට ගනු ලැබිණ. ප්‍රධාන තැපැල් කාර්යාලය ගාලු නගරයට මාරුකල පසු මෙය උප තැපැල් කාර්යාලයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.
හෝරා ස්ථම්භය
ගාල්ල නිරූපනය කෙරෙන ලාංඡනය බවට පත්ව ඇති මේ හෝරා ස්ථම්භය දිවයිනේ තිබෙන උසම සහ මනස්කාන්ත ම හෝරා ස්ථම්භය ලෙස හැඳින්විය හැකිය. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් එෆ්.ආර්.සී.පී. වෛද්‍ය උපාධිය ලබාගත් ප්‍රථම ශ්‍රි ලාංකිකයා වූ වෛද්‍ය පීටර් ඩැනියල් අන්තෝනිස් (1822-1903) සිහිවනු පිණිස ජෝන් හෙන්රි ගෙස් ලැන්ඩන් නම් වූ ඉංජිනේරුවරයාගේ සැලසුමක් මත වර්ෂ 1883 දි නිමවන ලද්දකි. මේ හෝරා ස්ථම්භයෙහි හෝරා යන්ත්‍රය පරිත්‍යාග කරන ලද්දේ කොස්ගොඩ විසු මහා ධනපතියෙක් මෙන් ම මුහන්දිරම්වරයෙකු වූ සැම්සන් ද අබෘෘ රාජබක්ෂ මහතා විසිනි. මෙය ඉදිකිරිමට පෙර ගලින් නිම වූ ඝන්ඨා කුළුණක් මෙහි ස්ථාපනය කර තිබු අතර එය 1879 දී ඉවත්කොට මීටර් 25.3 උසකින් යුක්ත මේ හෝරා ස්ථම්භය ඉදිකරවන ලදී.
ගාලු පුස්තකාලය
මේ පුස්තකාලය පිහිටා ඇත්තේ එකල ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ ගෙව්ම් කාර්යාලය පිහිටා තිබු ගොඩනැගිල්ලේ දකුණුපස කොටසක ය. ගාල්ලේ කියවීම් ශාලාව නමින් වර්ෂ 1832 දී පිහිටවනු ලැබු මෙය බ්‍රිතාන්‍ය ජාතික වෘත්තිකයන්ගේ හා වැවිලිකරුවන්ගේ පොදු විවේකාගාරය වශයෙන් ද තොරතුරු හුවමාරු කරගන්නා ස්ථානය වශයෙන් ද භාවිතයේ පැවතිණ. වර්ෂ 1871 දී මෙය මහජන පුස්තකාලයක් බවට පරිවර්තනය විය. මෙහි අභිමානවත් 175 වන සංවත්සරය 2007 දී සමරනු ලැබිණ. මෙය දැනට සාමාජිකයන් පමණක් භාවිතා කල හැකි පුස්තකාලයක් බවට පරිවර්තනය කර ඇත.
ගබඩා භාරකරුගේ නිවාසය-STOREKEEPER’S RESIDENCE
(පුරාවිද්‍යා ප්‍රාදේශිය කාර්යාලය)
මෙම බලකොටුව ඉදිකිරිමෙහි ලා පෘතුගිසින්ගේ හා ලන්දේසින්ගේ අරමුණ වූයේ තමන් සතු වෙළඳ භාණ්ඩ සුරක්ෂිතව තබාගැනිම හා ප්‍රදේශවාසින් සම්බන්ධව පාලනයක් පවත්වා ගැනිමයි. ඔවුන් විසින් වැදගත් කොට සලකනු ලැබු අංශ සම්බන්ධව සමීප අධික්ෂණයක් පවත්වා ගැනිමට පහසු වන පරිදි ප්‍රධාන පාලකයන්ගේ නිල නිවාස, බඩු ගබඩාව කේන්ද්‍ර කරගෙන ඒ අවට ම ඉදිකරන ලදි. බඩු ගබඩාවට මුහුණ ලා ඇති වර්තමාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශිය කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලෙහි කුළුණු සහිත විවෘත ආලින්දයේ හිඳගෙන සිටින අයෙකුට බඩු ගබඩාවෙහි දෙකෙළවර ම මැනවින් දර්ශනය වේ. මෙය ගබඩාභාරකරුගේ නිල නිවාසය ලෙසත් කාර්යාලය ලෙසත් භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකිය.
බඩු ගබඩාව-WAREHOUSE
කළුකොටුවේ සිට සූර්ය අට්ටාලය දක්වා කොටු බැම්ම අඛණ්ඩව සම්බන්ධව කිරීම තුලින් ලන්දේසි වෙළෙඳ සමාගමේ වෙළෙඳ භාණ්ඩ ගබඩා කර තැබිය හැකි බඩු ගබඩාව ඉදිකර ඇත. එය බඩු ගබඩාවක් ලෙස ද ,කොටු බැම්මේ කොටසක් ලෙසද භාවිතා කරන බැවින් ප්‍රයෝජන දෙකක් ඉටු වේ. කොටුවට පිවිසෙන ප්‍රධාන දොරටුව බඩු ගබඩාව හරහා ඇති උමං දොරටුවක් සේ දිස්වෙන අතර ලන්දේසි යුගයේ මේ දොරටුව කොටුවට පිවිසිමට හා පිටතට යාමට පමණක් භාවිතා කොට ඇත. වර්තමානයේ එය ප්‍රධාන දොරටුව ලෙස භාවිතා කෙරේ. බඩු ගබඩාවේ ඉහල මාලයට පිවිසිමට පියගැටපේලි දෙකක් දොරටුව දෙපසින් තනා ඇත. පහළ මාලයේ ගබඩා කාමරවලට පිවිසිම සඳහා ප්‍රධාන දොරටුව ඇතුළත දොරවල් දෙකක් ඇත. මෙම බඩු ගබඩාව නිර්මාණයේ ආරම්භය හා අවසානය නිශ්චිත නොවන අතර එහි ස්ථාන කිහිපයක 1671,1672, හා 1676 යන වර්ෂ සටහන් කළ ගල්පුවරු කිහිපක් සවි කොට ඇත. ගොඩනැගිල්ලේ වම්පස ගබඩාවේ ඉරන ලද දැව ද ,කවඩි සහ ආහාරද්‍රව්‍ය ද එහි අනිත් පැත්තේ නැව්වලට අවශ්‍ය වෙළෙඳ භාණ්ඩ වූ ලුණු ,ගම්මිරිස් ආදිය ද ගබඩා කරනු ලැබිණි.වර්තමාන ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය පවත්වාගෙන යනු ලබන්නේ මේ කොටසේය. ගොඩනැගිල්ල තුලට වාතාශ්රයේ ලබා ගැනිම සඳහා තිබු කුඩා වා කවුළු ඉවත්කොට 19 වන සියවසේ මැද භාගය දී බ්‍රිතාන්‍ය ජාතාකයන් විසින් විශාල වා කවුළු සවිකොට උසාවිය සහ ඉඩම් කාර්යාලය සඳහා භාවිතා කරන ලදී. 1990 දශකයේ සිදු කරන ලද සංරක්ෂණ කටයුතුවලදී මෙම විශාල වා කවුළු ඉවත්කොට නැවත ලන්දේසි යුගය සිහිගන්වන වා කවුළු සවිකොට ඇත.