ඓතිහාසික හැඳින්වීම

භූගෝලීය වශයෙන් ගාල්ල නගරය උතුරු අක්ෂාංශ 60 3’ 13” වශයෙන් ද නැගෙනහිර දේශාංශ 8012’ 42” වශයෙන් සීමාවක පිහිටා ඇත. සමස්ථ දකුණු පළාත් භූමි ප්‍රදේශයට ඇතුළත් වර්ග කිලෝ මීටර 16365 ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වෙයි. එය ලංකාවේ සමස්ථ භුමියෙන් 2.5% කි. ගාල්ල දිස්ත්‍රික්කය තුල වෙනස් භූ ගෝලීය ලක්ෂණ හඳුනාගත හැකිය.  ලවණ සහිත වෙරළ කලාපයත් තෙත් සදාහරිත වනගහණ කලාපයත් වෙනස් භූ ගෝලීය කලාප ලෙස ගාල්ලෙන් හඳුනාගත හැකිය. ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ සිට ගාල්ල අතර දුර ප්‍රමාණය කිලෝ මීටර 116 කි.

ගාල්ල නගරය ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටඅයත් වෙයි. 17 වන සයවසේදී ලන්දේසීන් විසින් යාපනේ දීශාව, කොළඹ දිසාව , ගාල්ල දිශාව වශයෙන් ලංකාව ප්‍රධාන පාලන බල ප්‍රදේශ තුනකට වෙන් කරන ලදී. ඒ අනුව ගාල්ල දිසාව ලෙස බෙන්තර ග‍‍‍ඟෙන් පටන්ගෙන වළවේ ගඟ දක්වා පිහිටි ප්‍රදේශය එක් සීමාවක් ලෙසින් ද මුහුදු තීරයත් රට මැද පිටිගල, බෙරලපනාතර , කටුවන , මාපලගම ආදී ප්‍රදේශ මායිම් ලෙස සලකා පාලනය කළහ. එහි විකාශනයක් ලෙස වර්තමානයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ගඟ සිට ගොයියපාන ඇළ දක්වාත් , එක් පසෙකින් මුහුදු තීරයේ සිට අනෙක් පසින් රට මැදට ඉමදූව, සබරගමුව කලාප දක්වා පරිපාලන මායිම් සකස් කර ඇත. ගාල්ල නගරය අයත් වන පරිපාලන ප්‍රාදේශිය කොට්ඨාසයේ මායිම් අනුව කොටුව, කඩවත, බටදූව බටුවන්තුඩාව, ආදී ප්‍රදේශවලින් සමන්විත වෙයි.

ලන්දේසීන් විසින් පරිපාලන පහසුව තකා ගාල්ල දිස්ත්‍රික්කය කුළ වෙන් කරනු ලැබු සැතපුම් 04 භූමි ප්‍රදේශය ගාල්ල කඩවත්සතර  ලෙස සලකනු ලබයි. එලෙස වෙන් කරගත් භූමි ප්‍රදේශයට ඇතුලු වීමට කඩවත් සතරක් භාවිතා කළ අතර කොටුව, කඩවත, බටදූව, බටුවන්තුඩාව, යන ස්ථාන 04 හි පැරණි ප්‍රවේශ මාර්ග පිහිටියේය. ගාල්ල කඩවත්සතරට ප්‍රධාන ගම්මාන 105ක් අයත්ව තිබුණි.

ක්‍රි.ව. 1865 අංක 17 දරණ නගර සභා ආඥා පනතේ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ලංකාවේ නගර සභා 03 ක් , කොළඹ, මහනුවර සහ ගාල්ල ආදී වශයෙන් ස්ථාපනය කරනු ලැබීය. ගැසට් 3571 හි ක්‍රි.ව. 1866 නොවැම්බර් 17 වන දින ප්‍රකාරව ගාල්ල නගර සභාව පිහිටුවීම යෝජනා විය. ඒ අනුව ක්‍රි.ව. 1867 ජනවාරි 01 දින සිට ගාල්ල නගර සභාව ස්ථාපනය කරන ලදී. වර්ග සැතපුම් 6.5 භූමි වපසරියක් ගාල්ල නගර සභා කලාපයට ඇතුලත් වෙයි.

ගාල්ල නගර සභාවට අයත් කලාප 15 න් අංක 01 කලාපය ගාල්ල කොටුවයි. වත්මන් පරිපාලන බෙදීමට අනුව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 96 ඩී ග්‍රාම සේවා කලාපයක් ලෙස හඳුනා ගත හැකිය.

ඓතිහාසික තොරතුරු සහ පුරාවිද්‍යත්මක සාධක

ගාල්ල වරාය නිසා වෙළඳ නගරයක් ලෙස ගාල්ල වර්ධනය වූ බව පෙනෙයි. ඓතිහාසික වශයෙන් ගාල්ල වරායට ප්‍රබල වැදගත්කමක් හිමිවනුයේ අරාබි අර්ධද්වීපයේ සහ නැගෙනහිර ආසියාවේ උපක්‍රමික වැදගත්කමක් සහිත ස්ථානයක ගාල්ල පිහිටීමයි. ගාල්ල වරායේ ඓතිහාසිකත්වය හෙළිදරව් කරන වැදගත්ම පුරාවිද්‍යාත්මක සාධක වනුයේ ගාල්ල වරායේ ලිළුණු නැව් ආශ්‍රිත කොටස් ය.  නැව් 06 ක් ලන්දේසි පාලන සමයේ ගිළුණු බව ලන්දේසි වාර්තාවල සඳහන් වේ. එයින් දෙකක් වරාය බොක්ක ඇතුළත ද 03ක් ඇතුළු වන ස්ථානවලද ගිලිණි.  අනෙක් නැව ගාල්ල කොටුවට සංඥා ලබා දී ගාල්ල බොක්කෙන් පිටත නියමුවා පැමිණෙන තෙක් සිටින අවස්ථාවේ දී ගිලිණි.

ක්‍රි.ව.1659 ජුනි 23 දින ලන්දේසින් විසින් භාවිතා කළ ඇවොනඩ්සටාර් නැව ගිලිණි. එම නැව ලංකාවෙන් එකතු කරනු ලැබූ වෙළඳ භාණ්ඩ රැගෙන බතාවියට යෑමට සුදානම්ව තිබුණි. අන්තර් ආසියානු නාවික ගමනා ගමන කටයුතු සඳහා භාවිතා කළ ඩොල්පින් නැව ක්‍රි.ව.1663 දී ද, හර්කියුලස් නැව ක්‍රි.ව. 1661 දී ද මුහුදුබත් වී ඇත. හර්කියුලිස් නැව මුහුදුබත් වු පරිශ්‍රයෙන් යකඩ තුවක්කු 31 ක් සොයාගෙන ඇත. ගාල්ල වරා‍යෙන් ලන්දේසින්ට අයත් මුහුදු යාත්‍රාවල කොටස් පමණක් නොව ඊට පෙර අවධියට අයත් නාවුක යාත්‍රාවල කොටස් ද සොයා ගෙන තීබීම විශේෂත්වයකි.  ඒ අතර ක්‍රි.ව. 1996 වර්ෂයේ සොයා ගැණුන විශාල ප්‍රමාණයේ ගල් නැංගුරම් දෙක වැදගත් වෙයි. ඒවා ක්‍රි.ව. 13-14 සියවස්වල අයත් බව කියැවෙන අතර යුරෝපීයන් පැමිණීමට පෙර ගාල්ල වරාය ජාත්‍යන්තර මට්ටමේ වෙළඳ සබඳතා පැවැත් වු වරායක් බව පෙන්වීම සඳහා හමු වී ඇති ප්‍රබලම පුරාවිද්‍යාත්මක සාධකය මෙම ගල් නැංගුරුමයි.

යුරෝපීය පාලන සමයට පෙර ගාල්ල නගරය හා ගාල්ල වරාය

යුරෝපීයයන් පැමිණීමට පෙර ගාල්ල පිළීබඳව අපට හමුවන තොරතුරු අතර වඩාත් පැරණිම තොරතුරු හමුවන්නේ පොළොන්නරු රාජධානිය පාලනය කළ මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව.1153-1186) රජුගේ පාලන පාලන කාලයේ දී ය. මේ පිළිබඳව තොරතුරු හමුවන මහාවංශයේ ගිම්හතිත්ථ, ගහල නදී (ගාලු නදි) වාලුකා ගාම හෙවත් වැලිගම යනාදී වශයෙන් ගාල්ල ප්‍රාද්ශය ආශ්‍රිත විවිධ ගම් ප්‍ර‍දේශ පිළිබඳ තොරතුරු සඳහන් වෙයී.

ලංකාවේ දකුණු පළාත හෙවත් රුහුණ පාලනය කල පාලකයින් රුහුණු රටේ පිහිටි ස්වභාවික වනාන්තර තුල බලකොටු පිහිටුවා වෙනත් ප්‍රදේශයක් ලෙස පාලනය කළහ. කටුවන, අම්බලකාවත්ත, උඳුන්දොර ආදී වශයෙන් රුහුණු ප්‍රදේශයේ ගාල්ල අවට පිහිටි ආරක්ෂක බලකොටු රැසක් පිළිබඳව තොරතුරු මහාවංශයේ සඳහන් වේ.  එසේම ගාල්ල ප්‍රදේශය අවට පැරණි ගම්මානවල ව්‍යවහාරික නම් හා සමාන නම් රැසක් මෙම විස්තර යටතේ මහාවංශ කතුවරයා ඉදිරිපත් කරයි.

අතීතයේ ගාල්ල වරාය ගිම්හතිත්ථ ප්‍රදේශයේ බලකොටු තැනූ බව පැරණි මූලාශ්‍ර වල සඳහන් වේ. මල්යහන් කවි, දෙවොල් දෙවියන් පිලිබඳ පවතින ජනශ්‍රැති වල ගාල්ල වරාය පැරණී නැව් තොටක් ලෙස පැවති ආකාරය විශේෂිතය.                                                                                                     

යුරෝපීයයන්ගේ සංක්‍රමණයට පෙර ගාල්ලට පැමිණි විදේශික වෙළඳුන් පිළිබඳ තොරතුරු සඳහන් වේ. ඒ අතර ක්‍රි.ව.545 දී ග්‍රීක ජාතික කොස්මාස් ඉන්ඩිකැප්ලියුටස්(COSMAS INDICOPLEUSTES) විසින් ගාල්ල වරාය සහ ගාල්ල නගරය පිළිබඳව තොරතුරු සඳහන් කරනු ලබයි. හෙ‍තෙම ලංකාව පිළීබඳ සටහන් කරන තොරතුරු තුළ ලංකාවේ සෑම දිශාවකම පැවති වෙළඳ වරායන් වලට විවිධ රටවල සිට පැමිණි නැව් පිළීබඳව සහ එකල ලංකාවේ පාලකවරු  දෙදෙනෙක් සිටි බවත් දකුණු පළාතේ වෙළඳ නගරය පාලනය කරන වෙනම රජ කෙනෙකු සිටි බවත් විස්තර කරයි. ඉංග්‍රීසි ජාතික එමර්සන් ටෙනන්ට් සඳහන් කොස්මාස් සඳහන් කරන්නේ ගාල්ල පිළීබඳ තොරතුරු බවයි.

ගාල්ල පිළිබඳ වැදගත් තොරතුරු හෙළි කරන විදේශිය සංක්‍රමණිකයෙකු ලෙස ක්‍රි.ව.1344 දී ලංකාවට පැමිණි අරාබි ජාතික ඉබාන් බතූතා හඳුන්වා දිය හැක. හෙතෙම දෙවුන්දර සිට කොළඹ දක්වා යාත්‍රා කරන අතරතුර හෙතෙම ගාල්ල නගරයට පැමිණියේ ය. ගාල්ල ඔහු විසින් හඳුනවා දෙනු ලැබුයේ කාලි Quali  ලෙසිනි. ඉබන් බතූතා විසින් ඔහ්ගේ ගමන් විස්තරයේ ලංකාව වටා පිහිටි විවිධ වෙළඳ වරායන් සහ වෙළඳ නගරවල ස්වභාවය පිළිබඳව අපූර්ව විස්තරයක් ඉදිරිපත් කරයි. දකුණු පළාතේ පැරණි නැව් තොටක් සේම පූජනීය නගරයක් වන දෙවිනුවර හෙවත් දෙවුන්දර පිළිබඳව ඔහුගේ විස්තර වල වැඩි වශයෙන් සඳහන් වේ. ගාල්ලේ දී ඉබ්‍රහීම් නම් මුස්ලිම් වෙළෙන්දෙකුගේ නිවසේ ඉබන් බතූතාට ඉතා උසස් අන්දමින් ආගන්තුක සත්කාර කරනු ලැබූ බව ඉබන් බතූතාගේ ඓතිහාසික සටහන් වල සඳහන් වේ.

චීනයේ නැං ජිං නුවර සුප්‍රකට මිං රජ පෙළපතේ අධිරාජයා වූ යුං ලෝ රජුගේ නියෝජිතයෙකු ලෙස අද්මිරාල් චිං හ චෙං හෝ සෙනවියා ක්‍රි.ව. 1405 සිට 1410 දක්වා කාලය තුල කිහිප වරක්ම ලංකාවට පැමිණියේ ය. විශාල පිරිසක් සමඟ පළමුවරට ලංකාවට පැමිණී  චෙං හෝ විසින් අලකේෂ්වර නම් දකුණේ ප්‍රාදේශීය පාලකයෙකු හා ඔහුගේ පවුලේ පිරිස බලහත්කාරයෙන් චීනයට රැගෙන ගොස් ඇත. චෙං හෝ විසින් චීන, පර්සියන්, දමිළ භාෂාත්‍රයන් සකස් කරනු ලැබු පුවරු ලිපියක් ක්‍රි.ව.1911 ගාල්ල ක්‍රිප්ස් පාරේ බෝක්කුවකට සවිකර තිබී බ්‍රිතාන්‍ය ජාතික වාරි මාර්ග ඉංජිනේරු එෆ්. එච්.තොම්ලින් මහතාට හම් වී ඇත. වර්තමානයේ එම පුවරු ලිපිය කොළඹ ජාතික කෞකුකාගාරයේ දක්නට ලැබේ. ත්‍රී භාෂා සෙල් ලිපියේ සඳහන් තොරතුරු අනුව චීන අධිරාජයා විසින් දෙවුන්දර දේවාලයේ අනුහස් අසා දෙවියන්ට පුද පඬුරු එවනු ලැබීය. පුවරු ලිපියේ එකී පුද පඬුරු එකින් එක විස්තර වේ. ඉටිපන්දම්, තෙල්, කපුපිළි, සේසත් එකී පුද පඬුරු වලාන් සමහරකි. දෙවුන්දරට අධිපති වු දෙවියන් තේනවර නායනර් ලෙසින් සඳහන් කර ඇත.

ගාල්ල විශිෂ්ඨ වෙළඳ නගරයක් ලෙස බොහෝ ලේඛකයින් අතර ඉංග්‍රීසි ජාතික එමර්සන්ට් ටෙනන්ට් ස්වකීය වාර්තාවල ගාල්ල අතිශය ආකර්ශණීය පුරයක් ලෙස වර්ණනා කර ඇත. බයිබලයේ සඳහන් වන සොලමන් රජුගේ අවධියේ සුප්‍රකට ටාශිෂ් නගරය ගාල්ල වන්නට ඇතැයි ඔහු පවසයි.

ගාල්ල ඓතිහාසික තොරතුරු හෙළි කරන මූලාශ්‍ර අතර පැරණී ලේඛනයන් විසින් රචිත තාව්‍ය ග්‍රන්ථ විශේෂයක් වන සංදේශ කාව්‍ය වලට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. සංදේශ කවියා විසින් වර්ණනා කරනු ලැබුවේ තත්කාලීන සමාජ පරිසරයේ සැබෑ ස්වරූපයයි. එම තොරතුරු පිළිබඳ අවධානය යොමු කිරීමේ දී වෙළඳ වරායක් ලෙස ගාල්ලේ ක්‍රීයාකාරි ස්වභාවය පැහැදිලි වෙයි. 14 සහ 15 වන සියවස්වල ලියැවුණු මයුර, කෝකිළ, පරෙවි ආදී සංදේශවල ගාල්ල ඉතා සශ්‍රීක වාණිජ නගරයක් ලෙස පැවති බව සඳහන් වෙයි. මෙකි හැම කාව්‍යයකම ගාල්ල නම පැහැදිලිවම සඳහන් වන බැවින් ගාල්ල ඉතා පැරණි කරත්ත පොළක් හෙවත් කරත්ත ගාලක් ලෙස පවතින්නට ඇති පැහැදිලිය. කරත්ත පොළ යන අරුත ඇතිව ගාල ලෙසත් පසුකාලීනව ගාල්ල ලෙසත් හඳුන්වා ඇත.

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...